Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


අලුත උපන් කිරිකැටියත් මවත් රකින සූතිකා කායම් හොද්ද


2025-07-25 14885

 

(කුමුදු විජේරත්න)

 

අලුත දරුවන් වැදූ මවක් “සූතිකාවක්” ලෙස ජනවහරේ හඳුන්වයි. දරුවකු බිහිවී අපරාව ඉවත් වූ පසු මුල්දින 45 ක කාලය, සූතිකා කාලය ලෙස ආයුර්වේද මූලග්‍රන්ථයන්හිද දක්වා ඇත.

ප්‍රසවය නිමවීමත් සමග සූතිකා මව දැඩි වෙහෙසකාරී තත්ත්වයට පත්වේ. එසේම ශූල වේදනාදියෙන්ද පෙළෙමින් සිටින අවස්ථාවකි. මේ අවස්ථාවේ ඇයට යම් සහනයක්, නිවී සැනසිල්ලක් දැඩි ලෙස අත්‍යවශ්‍ය වන්නේය.

අතීතයේ සිටම අප රටෙහි සූතිකාවන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වා ඇත. ඒ අතුරින් දරුවකු ප්‍රසුත කළ පසු සූතිකාවන් සඳහා ලබා දෙන්නාවූ කායමට ලබා දී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.

“අලුත දරුවන් වැදූ මවුවරුන්ට එනම් සූතිකාවන්ට ඉඟුරු, ගම්මිරිස්, ගොරකා ආදිය ගෙන සාදන කායම් හොද්දෙන් පිටස්තරවූ සෙසු බෙහෙතක් නැත්තේය” යි රොබට් නෝක්ස්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් ලියවූ එදා හෙළදිව ග්‍රන්ථයේ සඳහන් කොට තිබීම එයට කදිම නිදසුනකි.

“දුටුගැමුණු රජු විසින් මේ මුළු ලක්දිව ගර්භණී ගැහැනුන්ට දුරු මිරිස් ලුණුද, ප්‍රසව කල වින්නඹුවන්ට පිළිද, භාණ්ඩාගාරයෙන්ම දෙවුහ” ලෙස සද්ධර්මාලංකාරයේ- දුට්ටගාමිණී වස්තුවෙහි සඳහන්ව ඇත. ඒ අනුව කායම සෑදීම සඳහා එදා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබී ඇති බවට එය කදිම සාක්ෂියකි.

සාමාන්‍ය ප්‍රසවයෙන් සතියක් පමණ ගතවූ පසු සූතිකා මව අසාමාන්‍ය පීඩාවන්ගෙන් තොරව පසුවන්නී නම් “ශුද්ධ වීම” හෙවත් ගර්භාශගත අපද්‍රව්‍ය ක්‍රමයෙන් හෙවත් රිද්මයානුකූලව බැහැරවීම වන්නේ නම්, සූතිකා අතුරු ආබාධ නොමැත්තේ නම්, සරල දිවා ආහාරයක් සමග සූතිකා කායම් හොද්ද නමින් දේශීය චිකිත්සා ව්‍යව්‍යහාරයේ එන තරල ආහාරය දෙයි. අත් බෙහෙත් රැසක් පිළිබඳ පුළුල් අවබෝධයක් සපුරා සිටි ගම්බද මවුවරු අදත් මේවා භාවිතකර සූතිකා මව්වරුන්ගේ සෞඛ්‍ය සත්කාරය මැනවින් දෙති.

සාම්ප්‍රදායික අහාරපාන සංරක්ෂණය හා භාවිත කිරීම කරනු ලබන්නේ මිනිසාගේ නිරෝගී බව රැකගැනීමටත් ඇතිවී ඇති යම් රෝගාබාධාදීන් සුවකිරීම සඳහා යොදන ප්‍රතිකාර පද්ධතියේම එක් අංශයක් ලෙසිනි.

නමුත් සූතිකා සමයේ මුහුණ දෙන අතුරු උපද්‍රවවලින් වැළකී මාතෘ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා මහෝපකාරී වන්නාවූ මෙම කායම් වර්ග භාවිතයෙන් වර්තමාන කාර්යබහුල සමාජය දුරස් වෙමින් තිබේ. එම කායම් වර්ග පිළියෙල කරගැනීම හා එහි ගුණාගුණ පිළිබඳ නොදැනුම, පාරම්පරික දැනුම පිළිබඳ විශ්වාසයක් නොමැතිවීම, සමාජ ආකල්ප වෙනස්වීම, නාගරීකරණය හා අවිවේකී ජීවිතය, අලසකම ආදී කරුණු ඊට හේතු සාධක වී ඇත.

 

කායම් වර්ග

 

“කායම” යන වචනය සියලු ජනවර්ගවලට පොදු වචනයක් වුවත්, “කායම” යනු ද්‍රවිඩ වචනයකි. එහි අර්ථය වන්නේ කුළු බඩු වර්ග යොදා සාදාගනු ලබන හොද්ද යන්නය.

ලංකාවේ විවිධ ප්‍රදේශවල සිංහල ජනයා විසින් මෙහි අඩංගු කුළුබඩුවල අඩුවැඩිතාව අනුව කායම් හොද්ද සකසා ගනී. මෙහිද සඳහන් කළයුතු වැදගත් කරුණ වන්නේ සිංහල ජනතාව පමණක් නොව ද්‍රවිඩ, මුස්ලිම් යන ජන කොට්ඨාසයන්ද මෙම කායම් වර්ග සඳහා සුවිශේෂී ස්ථානයක් ලබා දී ඇත.

සිංහල ජනතාව විසින් කායම් හොද්ද, මිරිස් හොද්ද ලෙසත්, ද්‍රවිඩ ජනතාව විසින් පුලි කායම ලෙසත් මුස්ලිම් ජනතාව විසින් ඉඩි කායම ලෙසත් විවිධ වූ කායම් වර්ග භාවිත කරනු දක්නට ලැබේ. මීට අමතරව දේශීය වෙදකමේ විවිධ පරම්පරාවලට අවේණිකවූ සූතිකාවන් සඳහා ඖෂධීය කායම් වර්ග භාවිත කොට ඇත. කොසඹ කායම,කෙප්පරාජ කායම,ලුණුදෙහි කායම ඊට නිදසුන් කීපයකි.

සූතිකා කායම් හොද්දක් සකසා ගන්නා අයුරු

1. සුදුලූනුබික් 5ක්

2. කරපිංචා ඉති 1ක්

3. ගම්මිරිස් මේස හැඳි 1ක්

4. කුරුඳු පොතු අඟලක කැබැල්ලක්

5. කොත්තමල්ලි තේ හැඳි 1ක්

6. සූදුරු තේ හැඳි 1ක්

7. මහදුරු තේ හැඳි 1ක්

8. උළුහාල් තේ හැඳි භාගයක්

9. ගොරකා බික් 3ක් 

10. පිට සුබුළු හැර තළාගත් අඟලක පමණ වූ මුරුංගා පොතු කැබැල්ලක්

11. අවශ්‍ය පරිදි ලුණු

 

මේවා ගලේ හොඳින් අඹරා ගුළියක් ලෙස සකසා මැටි බඳුනට දමා, එයට වතුර අඩු කෝප්ප 3 ක් හොඳින් මිශ්‍රකර, මැදින් පැහෙන තුරු පැස්සවා ගත යුතුය. මෙය බෙරි කර උයාගත් තම්බපු හාලේ බත් සමග කෑමට දෙයි. නැතිනම් ඉහත ද්‍රව්‍ය ගලේ අඹරා නොගෙන මඳක් තළාගෙන වතුර අඩු කෝප්ප 3ක් පමණ දමා හොඳින් උතුරවා පෙරාගෙන තැම්බුම් හොද්දක් මෙන් පානයට දෙනු ලබයි. නවීන පහසුකම් පරිදි බ්ලෙන්ඩර්කර හෝ කුඩා වංගෙඩියක දමා හොඳින් තළාගෙන හෝ සකසා ගැනීමද සුදුසුය.

ඉහත දැක්වූ වට්ටෝරුවෙහි අඩංගු ද්‍රව්‍යයන්හි අඩු වැඩිතාවන් අනුව විවිධ ප්‍රදේශවල සූතිකා කායම් හොද්ද සකසා ගනී. සූතිකාවට මල මුත්‍ර බද්ධතාවක් ද ඇත්නම්, ගොරකා ඉවත්කර ඒ වෙනුවට සියඹලා යොදා ගනී. සමහර ප්‍රදේශවල උළුහාල්, පොට්ටනියක් ලෙස සකසා වළඳට දමාගෙන අවශ්‍ය ප්‍රමාණයට සිඳුණු පසු උළුහාල් පොට්ටනිය ඉවත්කර ගනී. උෳව පළාතේ ගම්මිරිස් සඳහා යොදා ගන්නේ තම නිවසේ සාදාගත් සුදුකළ ගම්මිරිස් වීම ද විශේෂත්වයකි.

මිට අමතරව උෳව පළාතේ දෙමළ ජනතාව විසින් පුලි කායම ලෙස සූතිකාවන් සඳහා හොද්දක් සකසා ගනී. ‘පුලි’ යන වචනයෙන් ඇඹුල යන අර්ථය දේ. මෙහිදී ඇඹුල සඳහා යොදන්නේ ගොරකාය. මෙයට සුදුලුනු, කරපිංචා, ගම්මිරිස්, කොත්තමල්ලි, සුදුරු, ගොරකා, ලුණු අවශ්‍ය පරිදි යොදාගෙන ඉහත පරිදිම සකසා ගනී. සමහරුන් මෙය තවදුරටත් රසවත් කරගැනීමට තාච්චියකට තෙල් ටිකක් දමා රත් වූ පසු ඉහත මිශ්‍රණය දමා නටන තුරු රත්කර අවශ්‍ය පරිදි ලුණු යොදා ගැනීම කරයි. මෙසේ සකසා ගත පුලි කායම,කිතුල් හකුරු සමග කරවූ රෝස් පාන් හෝ හුළං විස්කෝතු සමග පොඟවා කෑමට ලබා දේ.

කායම් වට්ටෝරු සඳහා යොදාගෙන ඇති ඖෂධ ද්‍රව්‍යයන් පිළිබඳ විමසා බැලීමේදී අග්නිදීපන, පාචන, අනුලෝමන, රුචිකාරක, ශූල ප්‍රශමන, මල අනුලෝමන, අග්නිවර්ධක, වාත නාශක, බල කාරක, නාඩි උත්තේජක, ක්‍රිමිඝ්න, ශ්ලේෂ්මහර , ජවරඝ්න යන ගුණ කර්මයන්ට අමතරව විශේෂයෙන් ගර්භාෂ සංකෝචක, ගර්භාෂ ශෝධක, ආර්තව ජනක, ස්ථන්‍යයජනක, ස්ථන්‍යශෝධක යන ප්‍රධාන ගුණ කර්මයන්ද අන්තර්ගතය. මෙමගින් සූතිකාවගේ අග්නිදීපනය කර ආහාර ජීර්ණය හොඳින් පවත්වා ගැනීමට ඉවහල් වේ, ආහාර රුචිය හොඳින් වඩවයි. මලබද්ධතාව ආදිය දුරුකර නිසිලෙස මලමුත්‍ර බැහැර කරවීමටත්, ශූල,වේදනා ශෝථ ආදිය සමනය කිරීමටත් හැකියාව ඇත. ඉදිරියේ මවක් බලාපොරොත්තු වන්නාවූ ක්ෂීර සම්පත වැඩිකර (කිරි) ගැනීමටත්, ක්ෂීර ශුද්ධිය ඇතිකරලයි. ගර්භාෂය පිරිසුදු කර ශක්තිමත් කරයි. විශේෂයෙන්ම සූතිකාහාරය හොඳින් බැහැර වීමටත්, සූතිකාසන්නි වැනි රෝගාබාධ ඇතිවීම වළක්වා ගැනීමටත්, සූතිකාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කර, සූතිකාවගේ සෞඛ්‍ය සංරක්ෂණයකර ගැනීමට මහෝපකාරී වේ.

මෙම වට්ටෝරු සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය නිවසේ මුළුතැන්ගෙයින් පහසුවෙන් හා ඉක්මනින් සකසා ගත හැක. වැයවන්නේ අඩු වියදමකි. ලාභාදායීය.

ඒ අනුව විවිධ ප්‍රදේශවල විවිධ ජනවර්ග විසින් භාවිත කරනු ලබන්නාවූ මෙම කායම් වර්ග වෛද්‍ය ශාස්ත්‍රනුකූලවූද, පශ්චාත් සූතිකා සමයේ යෙදීමට ඉතා කාලෝචිත මෙන්ම, අහාරාමය මෙන්ම ඔෳෂධීය ගුණයෙන්ද , අනූන වූ, පහසුවෙන් දිරවිය හැකි, බෙහෙවින් ගුණාත්මක වූ ඖෂධීය ආහාරයක් වන්නේය.

 

 

වෛද්‍ය එම්. කේ. එන්. ජී. සඳුන්ගම
මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහල

 

- අරුණ -

 

Advertiesment